ශ්‍රී ලංකාවේ අලුත්ම ආගම
"ආගමික වින්දනය වූ කලී විඳින දුක් ප්‍රකාශ කිරීමත්, ඒ දුකට විරෝධය පලකිරීමත්ය. ආගම වූ කලී හිතක් පපුවක් නැති කුරිරු ලෝකයේ කරුණාබර හදවතය, හැඟීමෙන් තොර අචේතනික තත්ත්වයක සජීවී ආත්මයය. ජනතාවගේ අබිං ය". වර්ෂ 1844 දී මාක්ස් වාදය තුල එසේ සටහන් වූයේ ඇයි ?
ආගමට නැඹුරු වූ, හුරු වූ, ගොදුරු වූ, පුද්ගලයා අබිං වලට ගොදුරු වූ පුද්ගලයා හා සමවේ යන්න තහවුරු කරනු පිණිසය.
ආගමට ගොදුරු වූ අයෙක්ට තම ආගම හැර අන් කිසිවක් නිවැරදි නොවේ. අන්කිසිවෙක් නිවැරදි නොවේ. තම ආගම උත්තරීතරය. නිවැරදිය. එපමණක් නොව තම ආගම් කර්තෘ අසම සමය. උත්තරීතරය.
ශ්‍රී ලංකාවේ මේ වන විට බිහි වී ඇති අලුත්ම ආගම "මහින්දාගමයි". මෙම නව ආගමේ බැතිමතුන්ට තම ආගමේ කර්තෘ මහින්ද රාජපක්ෂ යනු හිතක් පපුවක් නැති කුරිරු ලෝකයේ කරුණාබරම හදවතයි. සජීවී ආත්මයයි.
තම කර්තෘ මහින්ද බොරු නොකියයි. සිහිනෙන්වත් වැරදි නොකරයි. සෑම විටකම නිවැරදි දෙයම කියයි. කරයි. තම අනුගාමිකයන්ට පමණක් නොව එසේ නොවන අයටද පිහිට වෙයි. කර්තෘ මෙන්ම අනුගාමිකයන්ද සර්වතොබද්‍රය. සර්ව සම්පූර්ණය. කර්තෘ මෙන්ම අනුගාමිකයෝ ද එසේ කියති.
2016 ජනවාරි 01 දා තිඹිරිගස්යායේ පත්තර තට්ටුවට පැමිණි පුද්ගලයෙක් තම අවුරුදු ප්‍රාර්ථනාව ජනපති මෛත්‍රීගේ මරණය පිළිබඳව පුවත ඇසීම බව හඬ නගා පැවසීය. නියත වශයෙන්ම 2017 ඔහුගේ අවුරුදු ප්‍රාර්ථනාවද එයම වන්නට ඇත. මෙය මහින්දාගමේ සියලු අනුගාමිකයන්ගේ ප්‍රර්ථනාවයි. තම ආගම් කර්තෘට එරෙහි වන සකල විධ පුද්ගලයන්ට ඔවුහු විනාශය ප්‍රර්ථනා කරති. තමනට විරුද්ධ එම පුද්ගලයන්ගේ හත්මුතු පරපුරටම විනාශය පතති.
මහින්දාගම යනු ජපානයේ ෂෝකෝ අසහාරා පන්නයේ ආගමක් නොව ඊටත් එහා ගිය ම්ලේච්ඡ සමාජයකට ඔබින ආගමක් බවට පත්ව ඇත. චින්තනමය වශයෙන් මහින්ද විසින් මිනිසුන් තුල තිරිසන් ගතිගුණ අදහස් රෝපණය කර හමාරය. නැතහොත් යටපත්ව තිබූ තිරිසන් ගති වලට වටිනාකමක් දී හමාරය. මිනිසුන්ගේ විනාශය ප්‍රර්ථනා කරන්නා වූ මිනිස් කොටසක් මේ මිහිපිට සිටිය හැකිද. තිරිසනුන්ව විනා මිනිසෙක්ට තවත් මිනිසෙකුගේ විනාශය ප්‍රර්ථනා කරන තත්ත්වයට පත් කළ හැකිද? එසේ කළ හැකි වන්නේ නම් එය ආගමේ නාමයෙන්ම පමණි.
Comments
Post a Comment